රාමචන්ද්‍ර
Hugo Chavez සහ political chaos අතර කිට්ටු සබදතාවයක් තිබේ යන අදහස වෙනිසියුවේලියානු ඉහල පාංතිකයන්,අමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අමරිකන් කේන්ද්‍රීය ජනමාධ්‍ය පොදුවේ බෙදාගනු ලබන අදහසක්.චාවේස් වූ කලී ත්‍රස්තවාදියෙකි.චාවේස් වූ කලී වහා බලයෙන් පහ කල යුතු ආඥාදායකයෙකි.මෙය එක්සත් ජනපදයේ ස්වාධීන ලිබරල් ජනමාධ්‍ය විසින් නිතර වයනු ලබන ජනප්‍රිය තාලයයි.
ප්‍රසිද්ධ ජනාධිපතිවරනයකින් හියුගෝ රෆායෙල් චාවෙස් වෙනිසියුවේලාවේ බලයට පත්වන්නේ 1998 දීය.ඉක්බිති 2000 හා 2006 වසර වල පිලිවෙලින් පැවැත්වූ චන්ද වලදි හෙතෙම යලි යලිත් ජනාධිපතිධූරයට තේරි පත් වන අතර Times සගරාවට අනුව හෙතෙම 2005 වසරේ ලොව වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් සිය දෙනා අතුරින් කෙනෙකි.
මහජන චන්දයෙන් බලයට ආ චාවේස්ට එරෙහි හමුදා කුමන්ත්‍රනයක් 2002 දී දියත් කෙරින.පැය 48 ට ආසන්න කාලයක් කුමන්ත්‍රනය පැවතින.චාවෙස් බලයෙන් අස්වාමික කෙරිනි.චාවේස් විරෝධී ව්‍යාපාරිකයෙක් වූ පෙද්රෝ කාර්මෝනා ජනාධිපති ලෙස නම් කෙරුනු අතර මෙම හමුදා කුමන්ත්‍රනය අමරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත විග්‍රහ කලේ "ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක්" ලෙසය.වෙනිසියුවේලානු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් "ඉපදිමට නියමිත" ඒකාධිපතියෙකුගේ තර්ජනයෙන් පීඩා නොවිදිනු ඇතැයි 2002 අප්‍රේල් 13 එහි කතුවැකිය පැවසීය.2000 වසරේදී චාවෙස් බලයට පත්ව තිබුනේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 59.76% ක් ලබාගනිමිනි.ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනු වස් "හමුදා කුමන්ත්‍රනයකට" බටහිර ලිබරල් පුවත්පත් ආ වැඩීම සිත්ගන්නා සුලු විහිලුවක් නොවේද?
හාස්‍ය රසය බල දේශපාලනයේ ජාති ලක්ෂනයකි.
දකුනු අමරිකාව හමුදා කුමන්ත්‍රන සදහා නම් දැරූ කලාපයක්.වෙනිසියුවේලාවේ 2002 කුමන්ත්‍රනය එවැනි කුමන්ත්‍රන දාමයක හුදු තව එකක් විතරයි.හමුදා කුමන්ත්‍රන සහ එක්සත් ජනපද රජය අතර ඇති ගුප්ත සබදතාවය තවදුරටත් වහන් කරන්න බැරි ප්‍රසිද්ධ රහසක්.1970 දී බලයට ආ සැල්වදෝර් අයියන්දේ ඔගස්තෝ ෆිනොෂේ නම් ආඥාදායකයා හරහා විස්ථාපනය කෙරෙමින් චිලි වල සිදු වූ හමුදා කුමන්ත්‍රනය සහ සීඅයිඒ සංවිධානය අතර තිබුන සබදතාවය පිලිබද පසුකලෙක වාර්තා පවා එලියට ආවා.
එක්සත් ජනපද රජය සහ හමුදා කුමන්ත්‍රන අතර ගුප්ත ආලය වර්තමාන ලෝක දේශපාලන භාෂාවේ වැදගත්ම ව්‍යාකරන රීතිය වන අධිරාජ්‍යවාදයේ රිතිය තනි කලු පැහැ ඉරක් ගසා underline කරනු ලබනවා.
අධිරාජ්‍යවාදය යනු කුමක්ද?එවැනි දෙයක් ඇත්තටම පවතීද?
බොහෝ දෙනාට අධිරාජ්‍යවාදය යනු 20 වන සියවසේ මාතෘකාවක්.බයිබලය සහ අසිපත සහිතව සුද්දන් කලු මිනිසුන්ගේ විජිතයන්ට පය තැබීමත් රැජිනගේ ආන්ඩුව සහ රැජිනගේ බලය පිහිටුවීමත් ස්වදේශීකයන් කැති ගෑමත් බොහෝ අයෙක්ට අනුව අධිරාජ්‍යවාදයයි.එය 20 වන සියවස මැද භාගයේදී නිමියේය.තවදුරටත් එවැන්නක් නැත.
මේ අපට උගන්වා තිබෙන,බොහෝ දෙනා විශ්වාස කරගෙන සිටින ජනප්‍රිය ඇත්තයි.
ඒත් අධිරාජ්‍යවාදය පිලිබද මෙම සරල කතාව සුන්දර වුනත් අවාසනාවකට මෙන් එතරම් ඇත්තක් නෙමෙයි.අධිරාජ්‍යවාදය යනු කවරක්ද?එය බිහි වුනේ කවර තත්වයන් යටතේද යන්න තේරුම් නොගෙන අධිරාජ්‍යවාදය පිලිබද නිගමන වලට පැමිනීම බුද්ධිගෝචර නැහැ.
යුරෝපයේ වැඩවසම් ක්‍රමය පරද්දලා ධනවාදය තහවුරු වෙමින් තිබුන 19 වන සියවසේ කාල් මාක්ස් සහ එංගල්ස් මේ විදිහට ලියනවා.
සිය නිෂ්පාදන භාන්ඩ වලට නියත ලෙසම විශාල වෙමින් පවතින වෙලදපොලක් සොයාගැනීමේ අවශ්‍යතාවය විසින් මුලු මහත් ලෝක ගෝලය වටා ධනපති පංතියට දුවන්නට සිදුවෙයි.එයට සෑම තැනටම රිංගන්නටද හැම තැනකම පදිංචි වීමටද හැමතැනකම සම්බන්ධකම් ඇතිකරගැනීමටද සිදුවෙයි.
- කාල් මාක්ස් / ෆෙ.එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය - 1848
අද අප කතාකරන අධිරාජ්‍යවාදය යනු අන් කිසිවක් නොව ධනවාදය නැමැති සමාජ ක්‍රමය පරිනාමය වීමේ තාර්කික අවසානයයි.අධිරාජ්‍යවාදයේ ඉතිහාසය අපට දල ලෙස පහත ආකාරයට සටහන් කරගන්න පුලුවන්.
1.යුරෝපයේ ධනේශ්වර ක්‍රමය විසින් හස්ත කර්මාන්ත සහිත යුරෝපයේ වැඩවසම් සුලු නිෂ්පාදනය වෙනුවට මහා පරිමාන නිෂ්පාදනය ආදේශ කලා.ධනවාදී නිෂ්පාදනය වැඩෙන තරමට නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍ය සහ වෙලදපොලවල් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්න ගත්තා.එක්තරා අවදියකට පස්සෙ තවදුරටත් ජාතික දේශ සීමා මීට ප්‍රමානවත් වුනේ නැති නිසා ලෝකය පුරා දුවන්නටත් ලෝකයේ හැම මුල්ලකම "පදිංචි" වෙන්නත් දියුනු යුරෝපා ජාතීන්ට සිදුවුනා.අපි පරන යටත්විජිතවාදය කියල හදුන්වන්නේ මෙම ක්‍රියාවලිය.
නිදසුනක් ලෙස අප්‍රිකාව බලවත් යුරෝපා රටවල් අතර බෙදුන විදිහ විමසන විට මේ කරුන ඉතාම පැහැදිලිව පෙනෙනවා.රත්තරං,දියමන්ති,තඹ වැනි පැරනි සියවස් වල වටිනා සම්පත් වගේම ඛනිජ තෙල් වැනි නව යුගයේ වටිනා සම්පත් වලින් අනූන සරුසාර මහද්විපයක් වන අප්‍රිකාව පැතලි විදිහට ඉරි ගසලා බලවත් රටවල් විසින් තමා අතරේ බෙදාගත්තා.මේ බෙදා ගැනීම් සදහා රන්ඩු ඇතිවුනා.දියුනු ජාතින් එකිනෙකා කොටාගත්තා.මුල සිටම මේ නිසා යටත්විජිතවාදය හිංසාකාරී ක්‍රියාවලියක් ලෙසයි දිගහැරුනේ.
අධිරාජ්‍යවාදය කියන්නෙ සුදු අයගේ නපුරුකම නිසාවත්,ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇති කෙහෙල්මලක් නිසාවත් ඇතිවුන ප්‍රශ්නයක් නෙමෙයි එහි මූලය සෑම අතින්ම ආර්ථිකයි කියන එක තේරුම් ගැනීම මෙතනදී ඉතාම වැදගත්.
2.20 වන සියවස මුල වෙනකොට මෙම ක්‍රියාවලිය උපරිම ලක්ෂ්‍යයකට සේන්දු වෙන්න ගන්නවා.ලෙනින් මේ ක්‍රියාවලිය සාරාංශගත කරමින් පහත නිරික්ෂන කිහිපය අධිරාජ්‍යවාදය - ධනවාදයේ ඉහලම අවධිය නැමැති කෘතියෙන් ඉදරිපත් කරනවා.
අ)ප්‍රාග්ධන සංකේන්ද්‍රනය වීම හා දියුනු රටවල ප්‍රාග්ධනයේ අසීමිත වර්ධනය විසින් ප්‍රාග්ධනය ඒකරාශී වී විශාල ඒකාධිකාරි හා කතිපයාධිකාරී ආයතන බිහිවීම.
ධනවාදයේ මුල් කාලයේ වගේ ආයතන ගොඩක් තරගකාරිව ඉන්න නිදහස් තරග තත්වයට වඩා වෙනස් තත්වයක් මෙතනින් හැදෙනවා.කුඩා ආයතන අභාවයට යවමින් ඒකාධිකාර හා කතිපයාධිකාර පන්නයේ ආයතන ආර්ථික ජීවිතයේ වැදගත්ම අංගය බවට පත්වෙනවා.
ආ)බැංකු ප්‍රාග්ධනය සහ කාර්මික ප්‍රාග්ධනය එකතු වී මූල්‍ය ප්‍රාග්ධනයේ පදනම මත අලුත්ම ස්වරූපයේ ප්‍රාග්ධනයක් බිහිවීම.
ලෙනින් මෙය හදුන්වන්නෙ මූල්‍ය කතිපයාධිකාරය (financial oligarchy) ලෙසින්.
ඇ)ප්‍රාග්ධනය අපනයනය - මෙය වු කලි ධනවාදයට ආවේනික ඉතාම වැදගත් ලක්ෂනයක්.19 වන සියවසේ මුල්භාගයේ පැවතුනේ භාන්ඩ අපනයනය පමනයි.නමුත් 20 වන සියවසේ භාන්ඩ වලට අමතරව ප්‍රාග්ධනය අපනයනය වෙන්න ගන්නවා.ඒ කියන්නෙ දියුනු රටවල ප්‍රාග්ධන හිමියන් ( අද තුන්වන ලෝකයේ රටවල්කියල හදුන්වන - එවකට යටත් විජිත හා අර්ධ යටත්විජිත ලෙස පැවතුන ) නොදියුනු රටවලට ප්‍රවේශ වෙලා ඒවයේ කර්මාන්ත ආරම්භ කරනවා.මේවාට ඒ නොදියුනු රටවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදාගැනෙනවා.අද විදේශ ආයෝජන කියල හදුන්වන ක්‍රියාවලියේ ආරම්භය මෙයයි.අඩු පිරිවැයට නොදියුනු රටවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදා ඒ රටවලම නිෂ්පාදනය කොට වැඩි මිලට විකිනීමෙන් දියුනු රටවල ප්‍රාග්ධන හිමියන් දැවැන්ත ලාභ ඉපයීම ආරම්භ වෙනවා.
ඈ)ඒකාධිකාරයන් විසින් ලෝකය බෙදාගැනීම හා නැවත බෙදාගැනීම සදහා සටන් වැදීම.
ප්‍රාග්ධන අපනයනය හරහා තමන් උපයන අධි ලාභ පවත්වාගෙන යන්න නම් නොදියුනු රටවල් තමන්ගේ බලපෑම යටතේ පවත්වා ගැනීම අනිවාර්යයි.මේ නිසා යටත් විජිත හා අර්ධ යටත් විජිත කෙරෙහි වැඩි වැඩියෙන් දේශපාලන බලය යොදවා ඒවා තමන්ගේ ආඥා චක්‍රය යටතට ගැනීමට මෙම බලවත් රටවල රාජ්‍යයන් වෑයම් කරනවා.ඒ සදහා පොර බැදීමේ ප්‍රතිඵලයක් විදිහටයි පලවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ පුපුරා යන්නෙ.
නිදසුනක් විදිහට 20 වන සියවස මුලදී බලවත් වෙන්න ගන්න ජර්මානු ප්‍රාග්ධනයට තමා සතු සූරාකෑමේ අයිතිය "පවරා දෙන්න" බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශ ප්‍රාග්ධනය කැමති වෙන්නෙ නැහැ.සාමකාමී බෙදාගැනීම්වලට අකමැති වීමේ තාර්කික ප්‍රතිඵලය වුනේ සංග්‍රාමයයි.
3.දෙවනි ලෝක යුද්ධය ඉවර වෙන්නෙ ලෝක දේශපාලනය ඇතුලෙ අධිරාජ්‍යවාදයේ පැරනි ස්වරූපය බරපතල අභියෝගයකට ලක්කරමින්.1945 වෙනකොට එක අතෙකින් සෝවියට් කදවුර බිහිවෙලා තිබුනා.එතෙක් කල් යටත් වී සිටි රටවල යටත් විජිත විරෝධී ව්‍යාපාර වර්ධනය වෙන්න පටන් ගෙන තිබුනා.තවදුරටත් තම අධිලාභ පවත්වා ගෙන යාම සදහා "පැරනි" සෘජු උපක්‍රම වල පිහිට පතන්න බැරි බව තේරුම් ගන්නා බලවත් ජාතිහු අලුත් තත්වයන්ට ගැලපෙන අලුත් ක්‍රම සහ විධි සොයන්න පටන් ගන්නවා.
රැජිනගේ නියෝජිතයන් විසින් පාලනය කරන පැරනි යටත්විජිතවාදය අවසාන වෙන්නෙත් අධිරාජ්‍යවාදය වක්‍ර ලෙස සිය ආධිපත්‍යය පවත්වා ගැනීම සදහා නව ආකාතියකට මාරු වෙන්නේත් මෙහි ප්‍රතිඵල විදිහට.
4."නව" අධිරාජ්‍යවාදයේ පලමු පියවර විදිහට යටත් කොටගෙන තිබූ සියලු රටවලට දේශපාලන නිදහස ලැබෙනවා.සෝවියට් සමූහාන්ඩුවේ තර්ජනය නිසා තමන් අතර තිබෙන පසමිතුරුතා තාවකාලිකව පසෙකට කරන සියලු බලවත් බටහිර ජාතීන් එක්සත් වෙන්න ගන්නවා.
නව යුගයේ අධිරාජ්‍යවාදය නියෝජනය වෙන්නෙ මහා පරිමාන සමාගම්,එම සමාගම් සදහා යටිතලය සපයන ලෝක බැංකුව වැනි ආයතන සහ මේ සියල්ල සදහා දේශපාලන ඉන්ධන සපයන බලවත් රටවල රාජ්‍ය තන්ත්‍රයන් විසින්.1991 දී සෝවියට් කදවුර බිදවැටීමත් සමග මෙම නව අධිරාජ්‍යවාදය සිය ඉතිහාසයේ අලුත් පිටුවකට ප්‍රවේශ වෙනවා.
දිග කතන්දරයක් කෙටියෙන් ලියනවා නම් අධිරාජ්‍යවාදය යනු පනහ දශකයෙන් අවසන් වුන එකක් නෙමෙයි.
ඇත්තටම බලවත් රටවල ආර්ථික සමෘද්ධිය සෑහෙන දුරකට නොදියුනු දිලිදු රටවල් ස්වකීය ආධිපත්‍යය යටතේ පවත්වා ගැනීම මත රැදී තිබෙනවා.උදාහරනයක් විදිහට නයිජිරියාව සහ ෂෙල් සමාගම අතර ජනප්‍රිය කතාව සලකා බලමු.නයිජිරියාවෙ තෙල් වල සෑහෙන අයිතියක් පවතිනුයේ නෙදර්ලන්තය මූලික වුන ෂෙල් සමාගම සතුව.මෙය "විදේශ ආයෝජනයක්".ඛනිජ තෙල් වෙලදාම ඉතාම ලාභදායක වෙලදාමක් වෙන වර්තමාන සන්දර්භය තුල ෂෙල් සමාගමට සහ එනයින් නෙදර්ලන්තයට නයිජිරියාවේ තෙල් නිධි යනු අත්හල නොහෙන සම්පතක්.එක්සත් ජනපදය මැදපෙරදිග කෙරෙහි දක්වන අධික ගිජුත්වය හා අවදානය තේරුම් ගත යුතු සන්දර්භයත් මෙයයි.ඉරාකයේ තෙල් වෙනුවට අර්තාපල් තිබුනා නම් සදාම් හුසේන් "ඒකාධිපතියෙක්" බව එක්සත් ජනපදයට කිසිවිටෙක මතක් නොවනු ඇතැයි යන්න ජනප්‍රිය විහිලුවක්.
ලිපිය ආරම්භයේදී සදහන් කල වෙනිසියුවේලාව වූ කලී ලෝකයේ ප්‍රමුඛතම තෙල් නිපැයුම්කරුවන් අතර ඉදිරියෙන් සිටින රටක්.1998 දී එහි බලයට පත්වන චාවේස් බොලිවේරියානු විප්ලවය යනුවෙන් හැදින්වෙන වාමාංශික ප්‍රතිසංස්කරන රැල්ලක් ක්‍රියාවට නගනවා.ප්‍රතිසංස්කරන වල එක් අංගයක් වුනේ විදේශ සමාගම් සතුව තිබූ තෙල් නිධි වල අයිතිය ජාතිය සතු කිරීමයි.එක්සත් ජනපදය කලබල වෙන්න පටන් ගන්නෙ චාවේස්ගේ මෙම විවාදාත්මක පියවරත් සමග.
අමෙරිකානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන්ට තෙල් නිධි ජනසතු කරන චාවේස් වහා බලයෙන් පහ කල යුතු "ත්‍රස්තවාදියෙක්" වීමේත් තෙල් නිධිවල ස්වකීය භුක්තියට නිදහසේ ඉඩ හැර තිබෙන සෞදි අරාබියේ රජ පවුල ඉතාම "සාමකාමී" තන්ත්‍රයක් වීමේත් කතාවේ තර්කය මේ ආකාරයි.
දෘෂ්ටිවාදය කියන්නෙ අතිශය බලසම්පන්න මෙවලමක්.අධිරාජ්‍යවාදය කියල එකක් නැහැ,විදේශ ආයෝජකයන් හරි අහිංසකයි,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ව්‍යුහමය ගැලපුම් සදහා නය දෙන්නෙ දුප්පත් රටවල් දියුනු කරන්න,අමෙරිකාව ඉන්නෙ තුන්වෙනි ලෝකය ශිෂ්ට කරන්න,ගෝලීය ධනවාදයට විකල්ප නැහැ,සමාජවාදය මැරිල,ලෝක ධනවාදයට විකල්ප සෙවීමට යාම නිෂ්ඵලයි,මෙය ඉතිහාසයේ අවසානයයි ඒ නිසා ගෝලීය ධනවාදයට මල් පහන් පුදමින් තම තමන්ගේ වැඩක් බලාගනු!යනුවෙන් නූතන ලෝකයේ දෘෂ්ටිවාදය දැලක් ලෙස වියනු ලැබ තියෙනවා.මේ මන්තරය නිතර දෙවේලේ මතුරනු ලැබෙනවා.මන්තර වලින් වසග කරනු ලැබූ ලිබරල් බුඩ්ඩිමතුන් ගෝලීය ධනවාදයේ ආශ්චර්යය ගැන සහ විකල්ප සෙවීමේ නිෂ්පලත්වය ගැන නැවත නැවතත් පුනරුච්ඡාරනය කරමින් සිටිනවා.
නමුත් අප බොහෝ විට "පරම සත්‍යය" කියල භාර ගන්නා බොහෝ දේ එක්තරා අධිපති මතවාදයක නිමැවුම්මැ මිස වෙන මොනවත් නෙමෙයි.අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ නූතන ආකාරයයි.එය ඇස්පනා පිට පවතින යථාර්තයයි.
ඇදහීමට අකමැත්තක් යථාර්තයක් වූ කල අප කුමක් නම් කරමුද?
ගුරුවරුන් අදහමුද?ඇදහිල්ලට පහර දෙමුද?
Home »
» නූතන අධිරාජ්‍යවාදය ගැන දල සටහනක්
Post a Comment