Home » » පොලිස්පති තුමනි, මේ සංදේශයත් ඔබට මය!

පොලිස්පති තුමනි, මේ සංදේශයත් ඔබට මය!

Written By Sri Lanka Guardian on Saturday, August 14, 2010 | 8:29 AM


පොලිස්පති තුමනි, එක් ලියුමක් ලියා එහි උණුසුම යන්නටත් පෙර මෙසේ තවත් ලියුමක් ලියන්නට සිදුවෙතැයි අප සිතුවේ නැත. එහෙත් සිදුවන්නේ නොසිතන දෙයම ය.

ඊයේ පෙරේදා ජවිපෙ ඉවත්ව ගිය විමල් වීරවංශ සහෝදරයාගෙන් පොලීසියේ නිලධාරීන් ගුටි කෑවාම අපි හිතුවේ ඒ ඇමතිවරයෙක් නිසා ඔබතුමන්ලා ඉවසා වදාරන්නට ඇත කියා ය. පොලීසියට වුනත් ධර්මචක්‍රය පලන්දන්නට ජේ ආර් කල්පනා කරන විට කවදා හෝ දවසක මෙසේ පොලිස් නිලධාරීන්ට ඉවසීම ප්‍රගුණ කරන්නට වෙතැයි යන්න ගැන ඔහු හිතන්නට ඇති නිසා විය යුතු ය. ‍ජේ ආර් ඒ අතින් ඉදිරිය දැක වැඩ කළ නායකයෙකු යැයි කිව හැකි ය.

විමල් සහෝදරයාගෙන් ගුටි කන එක ඉවසුවත් තවමත් ජවිපෙ රැදී ඉන්නා විජිත හේරත් හා අජිත් කුමාර සහෝදරයන්ගෙන් ද ගුටි කා ස්පිරිතාලේ ලගින්නට පොලිස් නිලධාරින්ට සිදු විනැයි යන්න ඉවසීම එතරම් පහසු නොවන බව අපි දනිමු. සමහර විට අත් අඩංගුවට ගන්න ඇත්තේ ඉවසා බැරිම තැන විය යුතු ය.

පොලීසියට මෙසේ ගුටි කන්නට සිදුව තිබෙන්නේ සෙනසුරු ඒරාෂ්ටකයවත් ලැබී ඇති නිසා දැයි කියා බලාගන්නවා නම් හොද ය. මර්වින්ට නම් ඇමතිකම අහිමිව ගොස් ඇත්තේ සෙනසුරු හරස්පරස් වීම නිසා යයි එතුමා ඊයේ මාධ්‍යයන්ට කියා තිබුනේ ය.

විමල්ව නිදහස් කොට විජිත හේරත් හිරේට දැම්මේ මොන සාධාරණත්වයට අනුව දැයි කෙනෙකු ප්‍රශ්න කරන්නට පුලුවන. ඒත් හැම එකාම මෙසේ ඔලුවට අතහෝදන්නට ආවොත් පොලීසිය අනාථය. නිවටයාට එලුවාත් රැවුල පාන්නා වාගේ යයි මිනිසුන් ඔලොක්කුවට කියන්න පුලුවන.

දැන් ඔය ගුටි කා ඉන්නා පොලීසියේ මහත්තුරුන්ට වෙනිවැල් ගැට කොත්තමල්ලියක් හදා දෙන්නට අපට වුවමනා ය. එහෙම ගෙනත් දුන්නාට කමක් නැත් ද? එසේ ගෙන ආ යුත්තේ කුමන වාට්ටුවට ද යන්න දැනුම් දුන්නොත් හොද ය.

එහෙම දැනුම් දිමක් කළොත් වෙනිවැල් ගැට කොත්තමල්ලි හදාගෙන පෝලිමේ එන්නට ගාල්ලේ ජනතාව පමණක් නොව රට පුරාම ජනතාව සූදානම් බව සැළකුව මනා ය. පෝලිම හසුරුවන්නට ද පොලීසිය යොදන්නට පවා සිදුවන්නට පුලුවන.

ඇත්තටම දැන් මේ පොලීසිය හැසිරෙන ජනතාවාදී විලාසය නිසාම පොලීසියට වෙනිවැල් ගැට පොවන්නට බොහෝ දෙනා යටි හිතෙන් කැමැත්තෙන් සිටින බව රහස් පොලීසියට බාර දුන්නොත් සැක හැර දැන ගත හැකි වනු ඇත්තේ ය.

ඔබතුමා යටතේ පොලීසිය ලබන ප්‍රගතිය ගැන ගෞරව සම්ප්‍රයුක්ත ආදරයකින් අපි බලා සිටින්නෙමු. ඔබතුමා වැන්නෙකු පොලීසියට ලැබිම පොලීසියේ වාසනාවකි. එහෙම වාසනාවක් ලැබිලාත් ගුටි නොකා ඉන්නට බැරිවිම ඒරාෂ්ටක අපලයක් යයි අපට සිතෙන්නේ ඒ නිසා ය.

බෑන් කී මූන්ලාත් බලා ඉන්නේ අපට ව‍රදින කම් ය. ඒ නිසා පරෙස්මෙන් වැඩ කරන්නට හිතට ගන්නවා නම් හොද ය. කේන්දරේත් බලවා ගන්නැයි කීවේ ඒ නිසා ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger