Home » » අපේ ක්‍රමය : රාජපක්ෂගේ කේ. පි. සුරතලා

අපේ ක්‍රමය : රාජපක්ෂගේ කේ. පි. සුරතලා

Written By Sri Lanka Guardian on Wednesday, August 18, 2010 | 7:01 AM


නිලන්ත ඉලංගමුව

ආණ්ඩුවේ පාලන කටයුතු වලට තමා ප්‍රතිපත්ති සකස් කරන්නේ යැයි සිතින් මවාගනිමින් සිහින ලෝකෙක පාවී පාවී තම මිතුරාද හතුරාද සේම තමාගේ යටි සිතද එකලෙස පාවා දෙමින් අමුතු පන්නයේ දේශප්‍රේමියකු වීමට යන්ත දරණ සි. ඒ. චන්ද්‍රප්‍රේම ඊයේ (අහෝස්තු 16) ලිපියක් ලියමින් කේ. පි. හෙවත් කුමාරන් පද්මනාදන් සමග ආණ්ඩුව ගෙන යන කටයුත්ත විසදා ගැනීම සඳහා විසදුමක් ඉදිපත් කර තිබේ. ලිපිය කිය වූ විට ක්ෂණිකයෙන් තේරුම් යන්නේ චන්ද්‍රප්‍රේම , 88-89 කාලයේදී ජෙප්පන්ගේ ඔලු වලට ටයර් දාන්න ඇද්ද අන්චිය ඔහු කේ. පි. අරභයාද කාලෝචිත බව පෙන්වීමට යන්ත දරන්නේ වෙනස් ක්‍රමයකට බවය. ඔහුගේම වචන වලට අනුව, " න්‍යායවාදියා ප්‍රායෝගික වුවත් නොවූවත් න්‍යාය අත්හරින්නේ නැත. නමුත් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයා යමක්‌ කළ නොහැකි නම් එය අත්හරී." මෙය වූ කලි මීට දසක දෙකකට පෙර ලංකාවේ තරුණයින් මට්ටු කිරීම සඳහා චන්ද්‍රප්‍රේම යොදාගත් ක්‍රමවේදයයි. චන්ද්‍රප්‍රේම බිව්ව ලේ වල පිළිකුල් දුර්ගන්දය වහනය වන්නේ ඔහුගේම වචන වලින් මේ ආකාරයෙන් මේවා එලියට පනින විටය.
ඔහු මෙවර කේ। පි මට්ටු කිරීම සදහා ආණ්ඩුවට ලබාදෙන උපදෙස් මාලාව, මීට දින කිහිපයකට පෙර ප්‍රගීත් එකනේලිගොඩ සැඟවී (චන්ද්‍රප්‍රේම එහිදී ඔහු මීට දශක කිහිපයකට පෙර නියෝජනය කළ ත්‍රස්ත කල්ලියේ රහස් පරීක්ෂකයෙකුගේ භූමිකාව රංග දක්වයි.) සිටින තැනින් එලියට ගැනීම සඳහා ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යාට ලියූ විලිලජ්ජ සහගත කැලැ පත්තරය හා සමානය. ඔහු කියන එක කතාවකට අනුව, කේ. පි.ට ඇතුලේ ඉදල වැඩක් දෙන එක ප්‍රශ්න වලට උත්තර සැපයීම සදහා කළ හැකි ක්‍රමෝපායික වැඩපිළිවෙලකි. ඔහුගේම වචන වලින්, " අනෙක්‌ අතට ආණ්‌ඩුවට අවශ්‍ය නම් 1989 දී රෝහණ විඡේවීරට සිදුවූවාක්‌ මෙන් "පැනයැමට තැත් කිරීම නිසා වෙඩි තැබුවා යෑයි" කියා කේ. පී. ගේ ජවනිකාවද අවසන් කළ හැක." අපේ දැනීමේ හැටියට කේ. පි. මෙතන රගපාන ජවනිකාවක් නැත. ජවනිකාව රගපාන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මිස කේ. පි . වූ කලී තම ජීවිතේ බේරා ගැනීම සඳහා අර අදින නිවටයෙකි. එසේත් නොවේ නම් ආණ්ඩුවේ තිරය මාරු කරන කෙවට්ටයෙකි. ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ කේ. පි. නොව ඔහුට අයත් මුදල් සහ මුදල් ලබාදුන් මූලාශ්‍රයන්ය. මහින්ද රාජපක්ෂ වූ කලි මිනිසුන්ගෙන් වැඩ ගැනීමට සහ ඔවුන්ගේ චරිත ඝාතනය කිරීමට දක්ෂ පුද්ගලයෙකු මිස තමන් වෙනුවෙන් කැප වූ පුද්ගලයින්ට කළගුණ සැලකීමට දන්නා පුද්ගලයෙක් නොවේ. කළගුණ, විනය, සදාචාරය, සාදාරනය යන වචන මහින්දගේ ශබ්ද කෝෂයේ නැත. ඒවා තියෙන්නේ මැදමුලනට සහ එහි ලේ නෑයින්ට පමණි. කේ.පි.ට කළගුණ සැලකිය යුතුයැයි අපි මෙහිදී කොහෙත්ම නොකියමු, නමුත් අපරාධ කාරයින්ට සැලකිය යුතු ආකාරයක් තිබේ. චන්ද්‍රප්‍රෙමට අනුව කේ. පි. රටින් පිට සිටි නිසා ඔහුට සමාව දිය හැකි වටපිටාවක් තිබේ. මෙය මීට කලකට පෙර තමන්ගේම සගයින් මිනීවලට දැක්කීම සඳහා චන්ද්‍රප්‍රේම නම් වූ ඒජන්තයා මිලිටරියට තොරතුරු ලබාදී මිනිසුන් ඉදිරියේ සීලවන්තයෙකු ලෙස පෙනී සිටීම හා සමානය.

චන්ද්‍රප්‍රේම නම් වූ දේශමාමක ජනමාධ්‍ය-වේදියා මෙහිදී පෙරලන බෝලය කදිමය। ඔහු රජතුමාගේ රජවාසලට යන්න හදන දේශීය මැකියාවෙලි වීමට උත්සහ දරණ සැටියෙකි. මෙය ඔහු ජනමාධ්‍ය වේදියෙක් යැයි කියාගනිමින් සැබෑ ලෙස ජනමාධ්‍ය කරණයේ යෙදුනු ප්‍රගීත් වැනි ගුණවත් මිනිසුන්, පාදඩ අශිෂ්ටයින් සේ සලකා ඝාතනය කිරීමට පාවිච්චි කළ දුෂිත න්‍යායි. මෙහි ඇති කණගාටුව වන්නේ චන්ද්‍රප්‍රේම එකම ක්‍රමය හැම ගැටලුවකටම උත්තරයක් ලෙස දැකීමයි. කරුණා ගැන මහා ගුණ වැල දේශනා කරන ඔහු, ආණ්ඩුව කරුණා විශයෙයිලා කරන සියලුම කටයුතු සදරනීකරණය කරනු ලබයි. 2004 දී කරුණා කොටි සංවිධානෙන් වෙන් වූ දිනයේ පටන්, එක්තරා කණ්ඩායමක් ඔහුගේ සහෝදරයා වන රෙජිට වස දී ( චන්ද්‍රප්‍රේම මෙය දන්නේ දැයි නොදනිමු ) මරා දැමීමත්, ඉන් පසු ඔහු කළ සියලුම කටයුතු චන්ද්‍රප්‍රේමට අනුව යුතුකම්ය. පෙනෙන හැටියට චන්ද්‍රප්‍රේම, කරුණා නිසා කබලෙන් ලිපට වැටුණු අහිංසක දෙමළ මිනිසුන් සේම සිංහල සහ මුස්ලිම් මිනිසුන් ගැන කිසිවක් නොදන්නේය. එසේම නැගෙනහිර යුකිතිය වූ කලි කරුණාගේ සහ පසුව පිල්ලයන්ගේ වචනය වූ බව ඔහු කිසිවක් නොදන්නේය. නැගෙනහිර කොටින්ට විරුද්ධව යුද්ධය මෙහෙවූයේ කවුද යන්න දන්නෝ දනිති. එය කරුණාගේ අයවිසින්, බලෙන් උස්සගෙන ගිය පොළොන්නරුවේ ගොයම් කපමින් සිටි සිංහල කොල්ලන් තාමත් ජීවතුන් අතර සිටින්නේ නම් කියා දෙනු ඇත. නැගෙනහිර විමුක්තිය වූ කලි හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සම්පුර් ඇතුළු වනාන්තර ඇතුලේ වතුර බෝතලයකින් සහ එක බිස්කට් පැකට් එකකින් සති ගණන් කටුක ජීවිතයක් ගතකළ එකේ ප්‍රතිපලය මිස, කරුණා විමුක්තියේ එකම පියා නොවේ. කරුණා වූකලී නීතිය අතට ගෙන තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කළ හැකි හැම දේම කළ අයෙකි. ආණ්ඩුව කළේ නැගෙනහිර ප්‍රජාතත්‍රවාදය ගරු කොට ගත් දෙමළ ජනතාවගේ අයිතීන් උදෙසා ඇති දේශපාලන වටපිටාවක් ඇතිවීම කරුණා මාර්ගයෙන් නැති කිරීමය. මෙම කාරණයේදී කොටියි - ආණ්ඩුවයි අතර කිසිඳු වෙනසක් නොමැත. ආණ්ඩුව කේ. පි. යොදාගනිමින් උතුරට කරමින් සිටින්නේද මෙයයි. මෙවැනි වැඩපිළිවෙලවල් ස්ථීර වන්නේ, බුද්ධිය හීන වී ගිය සමාජයක මිස බුද්ධියට වැඩිමට ඇති වටපිටාවක නොවේ. සමස්ත සමාජය ගොනාට ඇන්දවීමට හැකි වන තරමට මෙවැනි උපක්‍රම සාර්ථක වේ."sphiacide" (ස්පියස්යිඩ් ) නමින් පුරාණ යුරෝපය සහ පසුව මුළු ලෝකය පුරා ප්‍රචලිත වූ වැඩ පිළිවෙල වූයේ එයයි. නමුත් එහි සීමාව ඉක්ම වූ කල්හි දෙදරා යෑමේ ප්‍රමාණය කිසිවෙකුටත් නිර්ණය කළ නොහැකිය.

චන්ද්‍රප්‍රේමට අනුව ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්දව සදාචාරයක් නැති හමුදා අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවට විරුද්ධව මිනිසුන් පාරට නොබසින්නේ ඔවූහූ තුළ යම් පිළිගැනීමක් ආණ්ඩුව කෙරෙහිද, නඩු තීන්දුව කෙරෙහිද තිබෙන හෙහිනි। මෙය අමුලික බොරුවකි. එයට හේතුව ඔහු ඉදිරිපත් කරන තර්කය නොවේ, සැබෑ හේතුව වන්නේ මිනිසුන්ට එළියට බහින්න ඇති නොහැකි කමයි. ආණ්ඩුවේ මිලිටරිය නීතිය අතට ගෙන නටන නාඩගම කෘර මර්දනයක ප්‍රතිපලය මිස, ජනතාව එයට අනුබල දීමක් හෝ කැමැත්ත පල කිරීමක් ලෙස සැලකීම මෝඩකම මිස වෙන කිසිවක් නොවේ. සරල උදාහරණයක් මෙහිදී ගෙන බලමු, පසුගියදා ගාල්ලේ පැවති උද්ඝෝසනයට පොලිසිය විසින් එල්ල කරණු ලැබූ ප්‍රහාරය සහ විමල් වීරවංසගේ බර කිලෝ තුනකින් අඩු කළ " මාරාන්තික" උපවසයේදී පොලිසිය වලිගය අදෝ ප්‍රදේශයේ සගවා ගත් බලු පැටවුන් සේ හැසිරුණු ආකාරය අතර ඇති වෙනසය. ගාල්ලේ පැවති උද්ගොෂණයට සහභාගී වූ අය පොල්සියට පහර දුන් බවට චෝදනා නගන ආණ්ඩුව, මාරාන්තික උපවාසකාර විමල් වීරවංස, ලංකාවේ පොලිසිය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පගාව ගත්තේ යැයි නැගු බරපතල චෝදනාව ගැන සිහිනයකින්දු නොතකයි.කතාව සරලය, ආණ්ඩුවට හෝ , චන්ද්‍රප්‍රේම වැනි ස්වං ප්‍රකාශිත දේශප්‍රේමින් ඒවා දේශපාලනයේදී කියන කතා මිස බරපතල ලෙස නොගත යුතුයි යැයි කියනු ඇත. නමුත් ගැටලුව වන්නේ ෆොන්සේකා දේශපාලනයේදී කියන කතායි, ආණ්ඩුවේ කේවට්ටයින් කියන කතායි අතර මනින මිම්ම වෙනස් වීමය. අමතක නොකළ යුතු කරණය වන්නේ මේවනවිටත් රාජපක්ෂ ආණ්ඩුව ෆොන්සේකාට ලබාදෙන නඩු තීන්දුව ප්‍රකාශ කර තිබීමයි. එනම් එල්ලා මැරීමයි. එය ප්‍රකාශ කළේ නීතියට ඉහලින් සිටිනවා යැයි කියන ජනාධිපතිවරයා නොවේ, ඔහුගේ සහෝදරයාය. ඒ නිසා කිසිවෙකුටත් නීතිය ගරු කොටගත් විසදුමක් ආණ්ඩුව තිබෙන තෙක් අපේක්ෂා කළ නොහැකිය. මෙවැනි වටපිටාවක මිනිසුන් පාරට බසීවී යැයි අපේකෂා කළ නොහැකිය. නමුත් මෙම තත්වය වෙනස් විදිහට පුපුරා යා හැකිය. රාජපක්ෂ පුල පුලා කියන ආකාරයට "මේඩ් ඉන් ශ්‍රී ලංකා" චින්තනයේ රඟ දැනෙන්නේ එවිටය.

පවතින ගැටලුව වන්නේ මෙයයි. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ කේ. පි. වැනි කේවට්ටයින් නොව ජීවත් වීමට ඇති නිදහසයි. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කොට ගත් දේශපාලනයකට ඇති වුවමනාවයි. එසේම කේ.පි. සහ ජෙනරල් ෆොන්සේකා අතර ඇති වෙනස වන්නේ, ෆොන්සේකා වූ කලි පවතින ගැටලුව යන්තමින් හෝ අවබෝධ කරගෙන මහින්ද රාජපක්ෂ ළඟ දනින් වැටුණු නිවටයකු නොවී කොන්ද තියෙන පුද්ගලයකු ලෙස ජීවත් වීමට යන්ත දැරීමයි. ලංකවේ හොඳින් ජීවත් වීමම ගැටලුවකි. ලංකාවේ ඉඩ ඇත්තේ පන්දම් කාරයින්ට මිස කිසිවක් නිවැරදි ලෙස කරන අයට නොවේ. එය ආණ්ඩුවේ පමණක් නොව සැම තලයකම පවතින ස්වබාවයයි . රාජපක්ෂ අර අදින්නේ ජනරාල් ෆොන්සේකා දේශපාලනිකව හෝ ඝාතනය කිරීමට මිස වෙන කිසිවකට නොවේ. ජනරාල් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයට එකතු වීම සතයකටවත් මායිම් නොකිරීම වටිනාකමින් ඉහල වන්නේ ඒනිසාය. බලය තිබෙන අවදියේදී ලැබෙන සමාජ ගරුත්වයට වඩා බලය නොමැති අවස්ථාවේදී ලැබෙන සමාජ පිළිගැනීම අතිශය ප්‍රයෝජනවත් වන්නා සේම පවිත්‍රද වේ. කේ. පි මෙන්ම මහින්ද රාජපක්ෂද, ජනරාල් ෆොන්සේකාගෙන් වෙනස් වන්නේ මෙතනදීය. එසේ නොමැතිව චන්ද්‍රප්‍රේම ඉදිරිපත් කරන තුට්ටු දෙකේ මිනීමරු විසදුම් වලට අනුව නොවේ.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger