Home » » පොලිස් ප්‍රහාරයට ලක් වූ ජ.වී.පෙ. මන්ත්‍රීන් දෙදෙනා ඇතුළු කිහිපදෙනෙක් ඇප මත නිදහස්

පොලිස් ප්‍රහාරයට ලක් වූ ජ.වී.පෙ. මන්ත්‍රීන් දෙදෙනා ඇතුළු කිහිපදෙනෙක් ඇප මත නිදහස්

Written By Sri Lanka Guardian on Monday, August 16, 2010 | 3:02 PM

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහෝදරයා, දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ සහෝදරයා ඇතුළු පස් දෙනකු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කෙරිණි. ලබන ඔක්තෝබර් මස 18 වැනිදා මීළඟ නඩු දිනය ලෙස ප්‍රකාශයට පත් විය. පසුගිය 12 වැනිදා ගාල්ලේ පැවති උද්ඝෝෂණය අතර තුර අත්අඩංගුවට ගත් තවත් 07 දෙනකු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

විජිත හේරත් සහෝදරයා ඇතුළු පිරිස ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, 12 වැනිදා පැවති උද්ඝෝෂණයට එල්ල වූ පොලිස් ප්‍රහාරය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදීය. පොලිසිය තුළදී පහර දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේ පොලිසියට පහරදීමට පැමිණි බවට බොරු චෝදනා ඉදිරිපත් කරමිනි. මහජන නියෝජිතයින්ට පහරදී අත්අඩංගුවට ගෙන බොරු චෝදනා ඉදිරිපත් කරමින් නීතිය හෑල්ලූවට ලක් කිරීම අතිශයින් කණගාටුදායකය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙසත් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකරන ලෙසත් පවුල් බලය තර කරන ව්‍යවස්ථා සංශෝධන හකුළා ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පසුගිය 12 වැනිදා ගාල්ලේ පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ ප්‍රහාරය උද්ඝෝෂණ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි. එම උද්ඝෝෂණයට සහභාගි වූවන් හත් දෙනකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර විජිත හේරත් සහෝදරයා ඇතුළු මහජන නියෝජිතයින් පොලිසියට ගියේ ඔවුන් පිළිබඳව සොයා බැලීමට හා පැමිණිල්ලක් කිරීම සඳහාය.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීම පිළිබඳව මානව හිමිකම් සංවිධාන වෙත පැමිණිලි කිරීමටත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් සිද්ධියට සම්බන්ධ ගාල්ල පොලිසියේ නිලධාරීන්ට විරුද්ධව මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමටත් තීරණය කර ඇත.

මාධ්‍ය ඒකකය | ජනතා විමුක්ති පෙරමුණ
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger