නිලන්ත ඉලංගමුව
අපි පෙළගැසෙන දේශපාලන ප්‍රවණතාවය එනම් බල තණ්හාවෙන් රෝගී වුණු නායකයෙකුගේ මානසික ස්වභාවය සහ එහි ඇති අනතුරු දායක තත්වය තේරුම ගැනීම සඳහා සරල උදාහරණයකින් කතාව පටන් ගනිමු.
ඔබ ඔබගේ මව, සහෝදරිය හෝ බිරිඳ දූෂණය කරමින් සිටින සල්ලාලයෙකු මරා දැමීම සඳහා වීරයෙක් තෝරාගෙන (ඔබට එය කළ නොහැකිනම් ) ඔහුට එම කාර්ය සිදු කිරීමට ඉඩ සැලසුයේ යයි සිතමු. එය ශාන්ත දාන්ත ලෙස තම වගකීම අකුරට සිදුකරන සත්පුරුෂයෙකු ලෙස ඔහු තම කර්තව්‍ය අහවර කළේ යයි සිතමු. එසේම ඒ සඳහා ඔහුට අවශ්‍ය උද්යෝගය ඔබ නිසි ලෙස සැපයුයේ යැයිද සිතමු. නමුත් අවසානයේදී ඔහු, තමා විසින් අදාල සල්ලලයගෙන් බේරාගත් මිනිස් විෂය පාවිච්චි කිරීමට යන්ත දැරුව හොත් ඔබ ඊට ඉඩ හරින්නේද? නැතහොත් ඔහුගේ කාර්ය පිළිබඳව නියමිත ගරුත්වය ඔහුට දී අදාල කර්තව්‍ය අහවර කරන්නේද? ඔබ වීරයා යැයි සිතා ඔබට හානිකර සල්ලලයා මට්ටු කිරීම සඳහා අවස්ථාව ලබාදුන් සත්පුරුෂයා තම කර්තව්‍ය අහවර කිරීමෙන් පසු පෙර සිටි සතුරාටත් වඩා සල්ලාලයෙකු බව තහවුරු වුහොත් සිදුවන්නේ කුමක්ද? වඩාත් තේරෙන බාසාවෙන් කිවහොත්, යම් තක්කඩි ස්ත්‍රී දුෂකයෙකුට ගොදුරු වෙමින් සිටින ඔබගේ මව, බිරිඳ හෝ සහෝදරිය ඉන් බේරා ගැනීමට පැමිණි වීරයාට ඊට කෘත ගුණ සැලකීමක් ලෙස රිසි සේ ඇය කෙලසීමට ඉඩ දෙන්නේද? 18 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය දෙන ඔබ සියල්ලෝම කරමින් සිටින්නේ බල ලෝබයෙන් රෝගී වූ සල්ලාල රෝගියෙකුට, මව් බිම රිසි සේ කෙලසීමට ඉඩ දීමය.
වසර තිහක් තිස්සේ දෙමළ ජනතාව පාවාදෙමින් ගෙන ගිය නින්දා සහගත සන්නද්ධ අරගලය ලක් වැසියන් බහුතරයකගේ දායකත්වයෙන් සියල්ලටම හිත සුව පිණිස අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ එය තමන්ගේ බුදලයක් ලෙස පාවච්චි කරමින් සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවමින් රටට කරමින් ඉන්නේද ඉහත සදහන් කළ ආකාරයේ වැඩපිළිවෙලකි. මෙම ලියුම්කරු පසුගිය ලිපියේදී අවධාරණය කළ ආකාරයට සමස්ත සමාජය අන්ධ කොට ඇත. එය දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් මිස හදිසියේ ප්‍රදුර්බූත වූවක් නොවේ. මහින්දට, ඔහුට එරෙහිව ගොඩනැගෙන සියලුම විරෝධතා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ ලෙස හෝ එන්. ජි. ඕ. කාරයින් සල්ලි සෙවීම සඳහා කරණ පාවාදීම් ලෙස හුවා දක්වා ඇඟ බේරා ගත හැකිය. කොටින් සමග කළ යුද්ධය හැරෙන්නට අනෙක් සියලුම ප්‍රශ්න වලදී මහින්දගේ මෙන්ම ඔහුගේ සගයින්ගේ දේශපාලන පණ රැක්කේ එම ක්‍රමොපායයි.
යුද්ධය දිනීම හෙවත් ප්‍රභාකරන් ඇතුළු කොටින් මරා දැමීම සාමුහික ප්‍රයත්නයක ප්‍රතිපලයකි. එයට මහින්ද රාජපක්ෂ සේම, පණ රැකගැනීම සහ ප්‍රභාකරන්ගෙන් පළිගැනීම අරමුණු කරගත් ඇතැම් එල්.ටි. ටි. ඊ . නායකයින්ද ( කරුණා හැර ), විටින් විට හමුදා භාරයට පත් වූ සාමාන්‍ය සිවිල් වැසියන්ද සේම කොටි පාලනයට නතු වී සිටිමින් හමුදාවට ඔත්තු ලබා දුන් සිවිල් වැසියන්ද අදාල ජයග්‍රහණයේ සැබෑ පියවරුන් මිස විමල් වීරවංස, හෙළ උරුමේ සාමාජිකයින් වැනි තම බඩ වියත රැක ගැනීම සඳහා සිංහල මිනිසුන්ගේ මොළ ජාතිවාදීන් බවට පත්කිරීමට උත්සහ කළ අයවලුන් නොවේ. ඔවුන් කරනු ලැබුවේ වාර්ගිකයින් කල්ලි බවට පත් කිරීම සහ සමාජය පුරා මානසික බෙදනයක් ඇති කිරීමය. ඔවුන්ගේ දේශද්‍රෝහී සහ දේශහිතෛෂී වර්ගීකරණය තුළ තිබු සැබෑ හරය වන්නේ එයයි. සමාජය එවැනි තත්වයට පත් කිරීම මගින් පාලනයට පහසු වන අතර, පවතින සැබෑ ගැටලු යට ගැසීම සඳහා සෑම විටම එය පාවිච්චියට ගත හැකිය. බල තණ්හාව සහ වැල යන අතට මැස්ස ගැසීම හැර කිසිඳු දේශපාලනමය වශයෙන් ප්‍රබුද්ධ බවක් නොපෙනෙන රාජපක්ෂගේ චින්තනය පදනම් වී ඇත්තේද එවැනි සුළු දෑ මත පමණි.
කෙසේ වෙතත් රාජපක්ෂ සිතුවාට වඩා විරෝධයක් ඔහුගේ බලාපොරොත්තුව/ අරමුණු ඉටු කර ගැනීමට එරෙහිව රට තුළ මතු වී පෙනෙන්නට තිබෙන සැටියෙකි. මෙය ඉතා යහපත් දෙයක් ලෙස පෙනෙන අතර අඩු තරමින් තවත් දශක ගණනාවකට පසු හැරී බැලීමේදී මෙවැනි විරෝධයෙන් තුළින් මතුවන කාරණා ප්‍රයෝජනවත් වනු ඇත. අපි කරදරයෙන් සහ කනස්සල්ලෙන් යුත් ජාතියක් වෙමු. එය අපේ සදාකාලික උරුමයකි. නායකයින් වෙනුවට සුළු දේවල් මත යැපී තමා ප්‍රමුඛ කොට ගත් අය හැරෙන්නට සැබෑ නායකයින් යනු අපට ආගන්තුක දේය. නිදහස ලැබුණු දිනයේ පටන් අපි කළ තීන්දු තීරණ වල බරපතළ ප්‍රශ්න රැසක් තිබෙනවා සේම එහි මහත් බයානකම ප්‍රතිපලය වී ඇත්තේ රාජපක්ෂ වැනි නායකයෙකු ඉස්මත්තට පැමිණීම සහ ඔහුට භාණ්ඩ මෙන් සාමන්‍ය මට්ටමේ ජනතාව තම අරමුණු උදෙසා පාවිච්චි කිරීමට හැකි වීමය. 18 වන ව්‍යවස්ථා සංශෝදනය සඳහා ග්‍රාමීය හෝ අර්ධ නාගරික මට්ටමේ සැලකිය යුතු විරෝධයක් නොමැත්තේ එහෙයිනි. එසේම රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයට ඒ ගැන කතා කිරීමට නොහැකිය. මන්ද අදාල ගැටලූ වල මූලයන් නිර්මාණය කරනු ලැබුවේ ඔවුන් විසිනි. එසේම සමාජය තුළින් ඉස්මතු වීමට ඉඩ තිබු විශාල විරෝධය පණ නැති මහල්ලකුගේ තත්වයට පත් කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ විපක්ෂය නියත පරාජිත පක්ෂයක් බවට පත් කළා පමණක් නොව අත්‍යවශ්‍ය අවස්ථාවකදී සාමාන්‍ය ජනතාව මීට පෙර දක්වමින් තිබු විරෝධයට ඇති ඉඩද විනාශ කළේය. ඕනෑම සමාජයක සංවාදයට ඉඩක් නොමැත්තේ නම් එවන් සමාජයක් පාලකයාට රිසි සේ පාලනය කළ හැකිය, එසේම ඒ තුළ නීතියක් හෝ යුක්තියක් ගැන අපේක්ෂණයට වඩා දක්නට හැකිවනුයේ ලැබෙන අණ යුක්තිය පිලිගැනිමටය.
රාජපක්ෂට අනුව අදාල ව්‍යවස්ථා සංශෝදනය ගෙන එනු ලබන්නේ දෙවරක් පාලන කටයුතු කළ අය, පිස්සන් බවට පත් කිරීම වැලැක්වීමටය. මින් එක්කෝ රාජපක්ෂට ව්‍යවස්ථාව පිළිබඳව ඇති දැනුමේ ප්‍රමාණය ගම්‍ය වන්නේය. නැතහොත් රටේ වෙසෙන බහුතරයක් මී හරකුන් යැයි සිතා මෙවැනි ඔලමොට්ටල කතා ප්‍රකාශ කිරීම මගින් රැවටීමට හැකි යැයි රාජපක්ෂ විශ්වාස කිරීමය. සැබවින්ම අදාල සංශෝදනය තුළ පිස්සන් බවට කිරීම වැලැක්වීම සිදු නොවන්නේය. එසේම තමාට පිස්සුවක් ඇත්නම් ඊට අවශ්‍ය වන්නේ සුදුසු කම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත වහාම ප්‍රතිකාර ලබා ගැනීම මිස ව්‍යවස්ථාව මගින් ඊට ප්‍රතිකාර සෙවීම නොවේ.
නමුත් නීතියට ඉහලින් තබා සීමා විරහිත බලයක් සහ ජීවත් වීමට හැකියාව ඇත්තෙනම් මැරෙන තුරාවට නායකයෙකු බවට පත් වීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම මෙතරම් සරල මට්ටමෙන් කතා කිරීම සමස්ත සමාජයේ ඛේදවාචකයකි. නීතියකට හෝ විනයකට නතු නොවන තම අබිමතාර්ථයන් ප්‍රමුඛ කොට පිහිටුවා ඇති නායකත්වයකට, ශ්‍රී ලාංකිකයන් වන අපි "ජනාධිපති " යැයි කියමු. පසුගිය දශක කිහිපය පුරා අපි අපේ නායකයින් ලෙස දැක්කේ ඊට තේරී පත්වෙන අය වලුන් මිස වෙන කිසිවෙකු නොවේ. එහි ඇති මානසිකත්වය වන්නේ, මට පෙර සිටි කෙනා වැරදි කළේනම් මම කළාම මොකද, යන්නය. ජේ.ආර්.ට හොඳනම් මහින්දට මොකද. මෙවැනි ඛේදජනක විහිලු ආණ්ඩුකරණයේ යතුරු බවට පත් වූ විට ඇති වන්නේ උඬගු ආණ්ඩු සහ කොන්ද කැඩූ පාලිතයින්ය.
වත්මන් තත්වය තුළින් ඉස්මතු වී තිබෙන්නේ බරපතල සැකයෙකින් සහ වෛරයකින් පෙළෙන නායකයෙකුට නතු වූ සමාජයක පවතින සපකාරී ස්වභාවයයි. ලැබෙන වාර්තා සදහන් කරන අන්දමට, කැබිනෙට් මණ්ඩලයේ අනුමැතිය සඳහා සැබෑ සංශෝදන කෙටුම් පත ජනධිපතිවරයා විසින් යොමු නොකිරීමෙන් පෙනී යන්නේ එහි ඇති බරපතල ස්වභාවයයි. එසේම මෙරට ජනාධිපතිදුරයේ සේවය කළ අයවලුන්ගෙන් මේ වන විට ජීවතුන් අතර සිටින චන්ද්‍රිකා කෙරෙහි රාජපක්ෂගේ වෛරය දෙවැනි වන්නේ ඔහු ජනරාල් ෆොන්සේකා කෙරෙහි දක්වන වෛරයටය. ජනරාල් ෆොන්සේකාට සහයෝගය දක්වූ ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට ගත් ආණ්ඩුව උන්වාහන්සේට ඇපදුන් පසු යළිත් ඔහු අත්අඩංගුවට ගැනීම සහ රටේ නීතිපති වරයා, උන්වහන්සේට අදාල පන්සලේ තිබු ආයුධ ජනරාල් ෆොන්සේකා සැපයු බව පිළිගන්නේනම් සියලු වැරදි වලින් නිදහස් කළ හැකි යැයි ප්‍රකාශ කිරීම තුළින් පෙනීයන්නේ, රාජපක්ෂ ආණ්ඩුව පේළි සිටින අවඥ්ඥසහගත දුෂ්ට අශ්සීල දේශපාලනයේ සැබැවයි. රටේ නීතිය කෙළසා ඇති ප්‍රමාණයයි.
මෙහි ඇති අවාසනාවන්ත පැතිකඩ වන්නේ සාමාන්‍ය ජනතාව තුළට මෙම තත්වයේ ඇති බයානක කම අවබෝධ කර දීමට තරම් තේරුම් ගත් විපක්ෂයක් නොසිටීමයි. මේ නිසා රටේ පවතින විරෝධය මහල්ලකුගේ තත්වයට පත්වී ඇති අතර අපේ මාතෘ භුමිය අශිලාචාර දේශපාලනය නමැති තරුණ සල්ලලයකු විසින් නින්දා සහගත ලෙස කෙලසමින් සිටිනු පෙනේ. එනම් විරෝධය සුළු පිරිසකට සීමා වී තිබේ. එය සාමාන්‍ය මට්ටමේ ජනතාවගෙන් වියුක්ත වී තිබේ. මෙය විහින් වල කපා ගැනීමකට වඩා කබලෙන් ලිපට වැටීමය. අතිශයින් පරෙස්සම් විය යුත්තේ ඉදිරියේදී යළිත් මෙරට ඉස්මතු වෙමින් සිටින ග්‍රාමීය සහ අර්ධ නාගරික මට්ටමේ තරුණ/ තරුණයින් ලේ විලක් බවට පත් කිරීම නමැති බුද්ධි හීන පාලකයාගේ සුපුරුදු ක්‍රමොපායෙන් දිවි ගලවා ගැනීමය. සියල්ල මතක තබා ගත යුතු මුලික කරණය වන්නේ මුලික නීතයක් නැති රටක පාලකයාගේ අවශ්‍යතාවයන් නීතිය බවට පත් වීමය. රාජපක්ෂ යටතේ ලංකාවට සිදු වී තිබෙන්නේ එකී අවාසනාවන්ත සුපුරුදු තත්වයයි. ඔහු තිබු අවස්ථාව හිතා මතාම තමන්ගේ පටු අරමුණු උදෙසා සින්න කළ පුද්ගලයෙකි.
Post a Comment