By Taboo
ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.
(October 30, Colombo, Sri Lanka Guardian) 1978දී අපේ රටට හඳුන්වා දෙනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය පළමුවරට බරපතළ ලෙස විවේචනය කළ දේශපාලනඥයා ආචාර්ය එන්. එම් පෙරේරාය. එන්. එම්. මියගියේ 1979දීය. මේ කෙටි කාලය තුළ ඔහු විධායක ජනාධිපති ක්‍රමයේ ගැටළු ඉතා පැහැදිළි ලෙස දක්වමින් පොත් පිංචක් ලියා තිබේ. අද අප දන්නා අරුතින් මාක්ස්වාදියකු නුවුවද එන්. එම්ට බ්‍රිතාන්‍යයේ එවකට කම්කරු පක්ෂයේ ලයින් එකට සමාන්තරව ගිය, අවිගත් විප්ලවය වෙනුවට, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා වාමාංශික දේශපාලන දැක්මක් තිබුණේය. ඔහු කිසිම අත්දැකීමක් නැතිව විධායක ජනාධිපති ක්‍රමයේ ලුහුඬුතා දුටුවේ මේ ඉවෙනි. විධායක ජනාධිපති ක්‍රමය අද විවේචනය කරන බොහෝදෙනකු එහි වැරදි දුටුවේ එන්. එම්ට බොහෝ පසුව තමන්ටම හොම්බ බිම ඇනෙන්නට වැදුණු පසුය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රාජ්‍යපාලනය සඳහා මිනිසා විසින් නිර්මාණය කරගත් හොඳම ක්‍රමයක් සේ සැලකිය හැකිය. සියයට සියයක් නිවැරදි නුවුවද, එය අන් කිසිදු විකල්ප පාලන ක්‍රමයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලකයන්ගේ හැසිරීම පාර්ලිමේන්තුව මඟින් සීමා කරයි. බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාට හෝ ඉන්දීය අගමැතිවරයාට ලැබී ඇති බලතල ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට නීතියෙන් ලැබෙන බලතල වලට වඩා බෙහෙවින් අඩුය. Power corrupts and absolute power corrupts absolutely කියා කීවේ Animal Farm නවකතාවේ ජෝර්ජ් ඕවල්ය. විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙන් නොව දරුණු ලෙස පාලකයන්ට නීතිය තම අතට ගන්නට ඉඩ ඇති මෙවලමක් සේ දකින්නට එන්. එම්. මේ ප්‍රකට කියමන පදනම් කොට ගත්තා විය හැකිය.
එන්. එම්. බොහෝ දුරට නිවැරදි විය. එතෙක් මෙතෙක් විධායක ජනාධිපති ධුරය දැරූ හැමදෙනාම පාහේ හිතුවක්කාර ලෙස නීතිය තම අතට ගත්හ. එය මෙතෙක් දරණ ලද දුර්වලම පුද්ගලයාද, ඊට මහජන ඡන්දයෙන් පත් නොවූ එකම පුද්ගලයාද වන ඩී. බී. විජේතුංග පවා තම ව්‍යාපාරික හිතවතුන්ට උදව් කිරීම සඳහා විධායක ජනාධිපති පදවිය සතු බලතල වැරදි ලෙස භාවිතා කළේය. (බොහෝ දෙනකු නොදන්නවාට විජේතුංගගේ පාලන සමය අතිශයින් දූෂිත එකකි. එකම වෙනස හම්බකර ගත්තේ ඔහු නොව එක්සත් ජාතික පක්ෂයේ අනෙකුන් වීමය. මහරාජා බඳු යූ ඇන් පී හිතැති වෙළඳ ව්‍යාපාර මේ යුගයේ ලද අතිරේක රාජ්‍ය අනුග්‍රහය අපමණය.) අනෙකුන් ගැන කියනුම කවරේද?
එන්. එම්ට නොතිබුණු ජනාධිපති ක්‍රමය පිළිබඳ දශක තුනකට වැඩි අත්දැකීම් දැන් අපට ඇත්තේය. ඒ නිසා ඒ ගැන වඩා නිවැරදි තීන්දුවක් ගන්නට දැන් අපට හැකිවිය යුතුය.
විධායක ජනාධිපති ක්‍රමය භයානක බැව් සත්‍යයක් මුත්, අනෙක් අතට අප අත් දුටුවක් නම් ලංකාව වැනි රටක විධායක ජනාධිපති ක්‍රමයක් නැතිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ පවා පාලකයකුට අවශ්‍ය නම් අන්තනෝමතික ලෙස හැසිරීමට බැරිකමක් නැති බවයි. උදාහරණ හැටියට 1970-77 කාලය තුළ සිරිමා බණ්ඩාරනායකගේද, ඊට සමාන්තර වකවානුවක හදිසි නීතිය යටතේ ඉන්දිරා ගාන්ධිගේද හිතුවක්කාර හැසිරීම් දැක්විය හැකිය. මේ කිසිම වගකීමකින් තොරව පිස්සු කෙළින්නේ විධායක බලැති ජනාධිපතිවරුන් නොව පාර්ලිමේන්තුවට වගකිවයුතු අගමැතිනියන්ය.
මෙසේ විය හැක්කේ කෙසේද යන්න ඉතාම සරලව පහදා දිය හැකිය. මහා බ්‍රිතාන්‍යයේ පශ්චාත් ධනවාදී සමාජය වෙනුවට දකුණු ආසියාවේ තවමත් ඇත්තේ ප්‍රාථමික වැඩවසම් සමාජයකි. ඒ වැඩවසම් සමාජයේ පුරවැසියා සතු සිවිල් බලය හීනය. දේශපාලන අවබෝධය අවමය. මේ දුර්වලතාවයන් දඩ මීමා කරගන්නා පාලකයන්ට හිතුවක්කාර ඒකාධිපති පාලනයක් ගෙන යාමට ක්‍රමය කුමක් වුවද එය ගැටළුවක් නොවේ. උදාහරණයක් හැටියට සිරිමා බණ්ඩාරනායක අගමැති හැටියටත් ජේ. ආර් ජයවර්ධන විධායක ජනාධිපති හැටියටත් ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කළ කලාවේ කිසිම වෙනසක් වූයේ නොවේ. 1971 ජවිපෙ සමූලඝාතනය ඇසින් දුටුවන්ගේ මතය එය 1989දී කරන ලද මර්ධනයටත් වඩා අතිශයින් සැහැසි වූ බවයි. (ජවිපෙ ත්‍රස්තවාදීන් පූස් පැටියන් යැයි මෙයින් අදහස් නොකෙරේ.) එසේම මහජන කැමැත්තක් නොලබා තම ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමටද සිරිමා බණ්ඩාරනායකට ජනාධිපති විධායක බලතල අවශ්‍ය වූයේ නැත. නිරායුධ විරෝධතාවන්ට වෙඩි තබමින් 1974දී යාපනයේදී තරුණයන් එකොළොස් දෙනකුද, 1976දී පේරාදෙණිය සරසවියේ වීරසූරිය ශිෂ්‍යයාද මරා දමන ලද්දේ අද විධායක ජනාධිපති සතු බලතල කිසිවක් නැතිවය.
එසේම අපට ඇති තව අවබෝධයක් නම් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය බලයට පැමිණි කල්හි විධායක ජනාධිපති පදවියේ පවා තටු එක්තරා මට්ටමකට සිඳෙන බවයි. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ බල බිඳෙනු අපි දුටිමු. බලය තිබුණේ සාමාන්‍යයෙන් නාමික පදවියක් සේ ගැනෙන අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ අතය. තම ඇමති පදවි තුනක් ඇය විසින් උදුරාගත් අවස්ථාවේ උද්ධච්ඡ නොවී ඥාණාන්විතව කටයුතු කළේ නම් වික්‍රමසිංහට තවදුරටත් ඇය සීමා කිරීමට ඉඩ තිබුණේය. මේ බල තුලනය වැළකුණේ වික්‍රමසිංහගේ දුර්වල රාජතාන්ත්‍රිකභාවය නිසා මිස ක්‍රමයේ වරදක් නිසා නොවේ.
මේ දීර්ඝ අටුවාව අද සිදුවෙමින් පවතින කතාබහට අතිශයින් වැදගත් වේ.
විධායක ජනාධිපතිකම මොහොතකට අමතක කොට මිලිටරි ආණ්ඩුක්‍රමය දෙසට හැරෙමු. වාසනාවකට මෙන් අපේ රටේ මිලිටරි පාලනයක් තවම ඇති වී නැත්තේය. එනිසා අපට මේ ගැන අධ්‍යයනය කළ හැක්කේ නුදුරු පාකිස්තානයේ, බංග්ලාදේශයේ හා බුරුමයේ අත්දැකීම් ආශ්‍රයෙනි.
මිලිටරි ආඥාදායකත්වයක් අප දන්නා සියළුම පාලන ක්‍රමයන්ට වඩා භයානක විය හැකිය. කෙතරම් ප්‍රාථමික වුවද රාජාණ්ඩුවක වුව රජතුමන්ගේ හැසිරීම එක්තරා මට්ටමකට ජන සම්මතය මඟින් පාලනය කොට තිබේ. උදාහරණයක් හැටියට මහනුවර අවසාන සමයේ රජකළ නායක්කර් වංශික රජුන්ට පවා බහුතර ජනතාවගේ ආගම නොපිළිගෙන නොසිටිය හැකි විය. එහෙත් මිලිටරි අඥාදායකත්වයකට මේ සීමා බල නොපායි. බුරුමය බහුතර බෞද්ධ ජනගහණයක් වෙසෙන රටක් වීම එරට කිතුණු හමුදා පාලනයට ප්‍රශ්නයක් නොවේ.
මිලිටරි පාලනයේ භයානකත්වය වටහා ගැනීමට පාකිස්තානයේ සියා-උල්-හක්ගේ හැසිරීම පමණක් වුව ප්‍රමාණවත්ය. ඔහු ඉතා දරුණු ලෙස පූර්වගාමියා වූ සුල්ෆිකාර් අලි භුට්ටෝ මරා දමයි. ඒ නාඳුනන තුවක්කුකරුවකු ලවා නොව රටේ නීතිය අන්තනෝමතික ලෙස තම අතට ගැනීමෙනි. සමස්ත අධිකරණ පද්ධතියම මෙහිදී සියා-උල්-හක්ගේ අවශ්‍යතා අනුව සේවය කරයි. මේ මරණයට පත් කෙරෙන්නේ පාකිස්තානු ජනතාව වැඩිඡන්දයෙන් තෝරා පත්කොට ගන්නා ලද අගමැතිවරයකු බව සැලකුව මනාය. ඒ සඳහා භුට්ටෝට එරෙහිව නඟන චෝදනා වලට සමාන චෝදනා අවශ්‍ය නම් (උදාරණයක් හැටියට) ලංකාවේදී චන්ද්‍රිකා කුමාරතුංගට හෝ රනිල් වික්‍රමසිංහට එල්ල කළ හැකිය. භුට්ටෝට වඩා පහසුවෙන් මොවුන් එල්ලා මැරිය හැකිය. එහෙත් මිලිටරි ආඥාදායකත්වයේ බලය ඒය. දේශීය හෝ අන්තර්ජාතික වශයෙන් ඒ බලය ප්‍රශ්න කළ හැකි කෙනකු නොවේ. ඉතාම දැඩි අන්තර්ජාතික පීඩනයක මුහුණ දෙමින් වුවද බුරුමයේ පාලක ජුන්ටාව තම බලය රැකගනී.
මේ අත්දැකීම් ඇසුරින් අපට පැහැදිළි වන්නේ කොයිතරම් වැරදි තිබුනද විධායක ජනාධිපතික්‍රමය මිලිටරි අඥාදායකත්වයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී බවය. විධායක ජනාධිපති ක්‍රමයේ ඇති වැරදි නිවැරදි කරගත හැකි වෙනත් ආකාර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන් checks and balances ක්‍රමයක් ඇති කිරීම එක් ආකාරයකි. මේ රාජ්‍ය බලය බෙදීමේ ක්‍රියාවලිය තුළින් එක් ආයතනයක/පදවියක බලය වෙනත් ආයතනයක් මඟින් සූක්ෂ්ම ලෙස පාලනය වේ. එසේ නොමැතිව විධායක ජනාධිපති ක්‍රමයේ වැරදි නිවැරදිකිරීම සඳහා මිලිටරි අඥාදායකත්වයක සරණ සොයා යාම ඉඟුරු දීලා මිරිස් ගැනීමට හෝ මූණ සමඟ තරහට නහය කපා ගැනීමට වඩා භයානකය. හුදෙක් ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීමේ ආහ්ලාදයෙන් හෝ පුද්ගල වෛරයක් නිසා මිලිටරි ඒකාධිපතියකුට නැඟෙන්නට ඉඩ දිය යුතු නොවේ. එය රටක් ලෙස අප සිටින පසුගාමී ලක්ෂ්‍යයෙන්ද පසුපසට පැනීමකි.
එසේම මිලිටරි ආඥාදායකත්වයක් අවි බලයෙන්ම ඇති විය යුතු නොවේ. මැතිවරණයක් පවා එවැන්නකට මඟ පාදයි. ඇඩොල්ෆ් හිට්ලර් නාසි ජර්මනියේ චාන්සලර් වන්නේ හමුදා කුමන්ත්‍රණයකින් නොව පොදුජනතාවගේ කැමැත්ත ඇතිවය. පොදු ජනතාව විසින් යහපත් අරමුණින් යුතුව ලබාදෙන කැමැත්ත හමුදා නායකයකුට ඉතාම ලෙහෙසියෙන් තම වාසියට හරවා ගත හැකිය. එසේවන්නේ සාමාන්‍ය දේශපාලකයකුට මෙන් නොව හමුදාව තුළින්ම බිහිවූ නායකයකුට යම්තාක් දුරකට යුද්ධ හමුදාව හැසිරවීමේ ශක්‍යතාවයක් ඇති නිසාය. මේනිසා ජන සම්මතවාදයට පිටුපෑම එවැන්නකුට වඩා පහසුය. මෙවැනි උදාහරණ අවශ්‍ය තරම් අප්‍රිකානු රටවලින් හමුවේ. අප්‍රිකාවේ පසුව සැහැසි ඒකාධිපතියන් බවට පත්වූ බොහෝ මිලිටරි නායකයින් මුලින්ම කරළියට ඇවිත් ඇත්තේ මහා ජනහිතකාමීන් ලෙසය. මේ බැටළුවන් වෘකයින් බවට පරිවර්තනය වන්නේ පසුවය.
මේ රටේ දේශපාලන විපක්ෂය දැන් කෙතෙක් ඉච්ඡා භංගත්වයකට පත්වී ඇත්ද යත් රට දරුණු මිලිටරි ආඥාදායකත්වයට ලක්විය හැකි දැඩි අවදානම් උපක්‍රම පවා අත්හදා බැලීමට උත්සාහ දරණ සෙයක් පෙනේ. රට වැඩවසම් රාජාණ්ඩුවක් කරා ඇදීයාම වැළක්වීම කෙතෙක් අවශ්‍ය වුව එයින් අදහස් වන්නේ මෙරට මහජනතාව මේ දේශපාලන පක්ෂයන්හි ඉච්ඡා භංගත්වය තමන්ගේ එකක් බවට පත්කොටගෙන කබලෙන් ලිපට වැටිය යුතු බව නම් නොවේ. රනිල් වික්‍රමසිංහට හෝ සෝමවංශ අමරසිංහට මිස අපට එවැනි පිස්සුවක් නැත. -Sri Lanka Guardian
Home »
» විධායක ජනාධිපතිකම නැති කිරීමට මිලිටරි ආඥාදායකත්වයක් ගෙනෙමුද?
Post a Comment