Home » » පළමු යුධ අධිකරණ තීන්දුව නීතියට එල්ල කළ අභියෝගයක් !

පළමු යුධ අධිකරණ තීන්දුව නීතියට එල්ල කළ අභියෝගයක් !

Written By Sri Lanka Guardian on Monday, August 16, 2010 | 10:43 AM

පළමු යුද අධිකරණය සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ෆොන්සේකා මහතාගේ ජෙනරාල් ධූරය ඉවත් කිරීමට තීරණය කර තිබේ. එකී තීරණය වහාම ජනාධිපතිවරයා විසින්ද අනුමත කර තිබේ. සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ආණ්ඩුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ පැහැදිලිවම සාධාරණ, නිදහස් හා යුක්තිසහගත නඩු විමසීමකින් නොවේ. එබැවින් මෙය අපේ රටේ නීතියට එල්ලකර ඇති අභියෝගයක් වේ.

ඛෙදුම්වාදී ත්‍රස්තවාදය වෙනුවෙන් කටයුතු කළ ප්‍රබල ත්‍රස්තවාදී නායකයකු වූ කුමරන් පද්මනාදන්ට එරෙහිව අඩුගනණේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු නොකළ ආණ්ඩුව ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ සටනේදී හමුදාවට නායකත්වය දුන් ෆොන්සේකා මහතාගෙන් පලිගැනීම සඳහා ඔහුට දඩුවම් දීමට පුදුමාකාර හදිස්සියකින් කටයුතු කර තිබේ. කොටි සංවිධානයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලය භාරව සිටි කේ පී ට සියලූ සැප පහසුකම් දෙමින් මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා එහි නායකත්වය දැරීමට ඉඩ දෙන ආණ්ඩුව ෆොන්සේකා මහතා සිය යුධ හමුදා සේවා කාලය තුළ කළ කැප කිරීම් නිසා ලබා ගත් ජෙනරාල් තනතුර ඉවත්කර තිබේ. මීට අමතරව හමුදා අධිකරණය තුළ සහ සිවිල් අධිකරණ තුළ තවත් බොරු නඩු ගණනාවක් පවරා තිබේ. රට තුළ මහා අපරාධවලට හා දූෂණවලට සම්බන්ධ වූ බොහෝ දෙනා ආණ්ඩුවට හිතවත්වීම නිසා නිදැල්ලේ සැරිසරන අතර තම විරුද්ධවාදීන්ගෙන් පලි ගැනීමට ආණ්ඩුව මෙලෙස නීතිය යොදා ගැනීම ඉතා බරපතල සහ හෙළා දැකිය යුතු කරුණකි.

ෆොන්සේකා මහතාට එරෙහි පළමු යුද අධිකරණය සිය තීන්දුව දෙනු ලැබුවේ ෆොන්සේකා මහතාට නීති සහය ලබා ගැනීමට පවා සාධාරණ අවස්ථාවක් ලබා නොදෙමිනි. සාමාන්‍යයෙන් නීති කටයුතු නොකරන අධිකරණ නිවාඩු කාලයක් වූ පසුගිය 09 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය එක දිගට පළමු යුද අධිකරණය ෆොන්සේකා මහතාට එරෙහිව නඩු විභාග කළේ හිතාමතාම නීති සහය ලබා ගැනීමෙන් ඔහු වැළැක්වීම සදහාය. මෙවැනි සදාචාර සහ සාධාරණ නොවන නඩු විභාගවලින් දෙනු ලබන තීරණ යුක්ති සහගත නොවන බව ඉතා පැහැදිලිය.

මෙම ක්‍රියාමාර්ගවලින් එකක් පැහැදිලිය. ඒ ආණ්ඩුව තම විරුද්ධවාදීන්ගෙන් පලි ගැනීමට නීතිය වැරදි සහගත ලෙස යොදාගන්නා බවය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් පහරකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් නීතිය පිළිබඳව ඇති මහජන විශ්වාසයට හානි කරමින් වත්මන් ආණ්ඩුව ගෙන යන මෙම අත්තනෝමතික හිතුවක්කාරී සහ ඒකාධිපති පන්නයේ ක්‍රියාමාර්ග වහාම පරාජය කළ යුතුව තිබේ. ඒ සදහා පෙළ ගැසෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ සාධාරණය ගරු කරන සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය | ජනතා විමුක්ති පෙරමුණ
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger