Home » » මර්වින්ගේ මානව හිමිකම් කැඩෙයි! පෙත්සමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට!

මර්වින්ගේ මානව හිමිකම් කැඩෙයි! පෙත්සමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට!

Written By Sri Lanka Guardian on Monday, August 16, 2010 | 9:33 AM

මර්වින් වෙනුවෙන් මේ දවස්වල කවුරුවත් කතා කරන්නේ නැත. සමහර විට සෙනසුරා ලැබුවහම එහෙම වෙන්නට පුලුවන. අපේ සිරිත කවුරුවත් වැඩි පුර කතා කරන්නට අකමැති අය වෙනුවෙන් පෙනී සිටිම ය. ‍මර්වින් වෙනුවෙන් අප මැදිහත් වන්නට සිතුවේ ඒ නිසා ය.

විමල් වීරවංශගේ ඉල්ලා අස්වීම ජනාධිපති තුමා බාර ගත්තේ නැත. තත්වය එසේ තිබියදී ඉල්ලා අස් නොවූ මර්වින්ව අස් කර දැම්මේ ය. ඒ අනුව මෙතැන මානව හිමිකම්කඩ වීමක් සිදුව තිබේ. ඇත්තටම එන්ජීඕවලින් අපට ඩොලර් ගෙවන්නේ මානව හිමිකම් කඩවීම් ගැන ක්‍රියාකාරීවීමට ය. ඒ අනුව ද අපි මෙසේ මර්වින් වෙනුවෙන් ඉදිරිපත් වන්නෙමු.

මර්වින් සමෘද්ධි නිලධාරියෙක් ගස් බැන්දෙව්වේ ගෝලයින්ට කියලා ය. විමල් වීරවංශ පොලිස් නිලධාරීන්ට පහර දුන්නේ ද සිය ගෝලයින් ලවා ය.

මර්වින් දඩුවම් දෙන්නට පෙර නඩු විසදුවේ ය. විමල් එහෙම මොකුත් නැතිවම පොලීසියට විරුද්ධව සිය සගයින් මෙහෙයවීය.

තද කරන්නේ නැතිව බදින්නැයි කියන්නට තරම් මර්වින් කරුණාවන්ත වීය. එහෙත් සිය තනතුරට අයත් තොප්පියත් බිම දමා පාගනවා බලා ඉන්නට පොලිස් නිලධාරියාට සිදුවිය.

මර්වින් වැරැද්ද කළේ ඩෙංගුවලින් මියෙන ජනතාව වෙනුවෙන් තමන් දන්නා තරමින් මැදිහත් වීමට ගොසිනි. විමල් වැරැද්ද කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයක නිලධාරීන් පිරිසක් ප්‍රාණය ඇපයට ගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ආ රජයේ නිලධාරියාට රාජකාරියට බාධාකිරිමට මැදිහත්වීමෙනි. මර්වින්ගේ ගෝරිය රාජකාරිය නොකිරීම සම්බන්ධයෙන් වන විට විමල්ගේ ගෝරිය රාජකාරිය කිරීමට යාම සම්බන්ධයෙනි.

මර්වින් විරුද්ධව ගියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයින්ට ය. විමල් විරුද්ධව ගියේ ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෝලයින්ට ය.

මර්වින් කළේ ද තමන්ට නැති බලයක් පාවිච්චියට ගැනීම ය. විමල් කළේ ද එයම ය. මර්වින් එය හොරෙන් කළේ නැත. ජනමාධ්‍යයන්ට ද ආරාධනා කොට ප්‍රසිද්ධියේම කරන බවට වග බලාගත්තේ ය. විමල් ද ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කොට ඔවුන් ඉදිරියේ තම බලය පාවිච්චි කළේ ය.

මර්වින් නියෝජ්‍ය ඇමතිව‍රයෙක් වන විට විමල් ඊට වඩා වගකිව යුතු කැබිනට් අමාත්‍ය පදවියක් දැරීය. නියෝජ්‍ය ඇමතිවරයෙකුට වඩා වගකීමක් ඇමතිවරයෙකුට තිබේ.

ඇත්තටම මර්වින් අමතර වැරැද්දක් කළා නම් ඒ ගෝලයින්ට දඩුවම් කිරීමට පෙර සමෘද්ධිය බාර ඇමතිවරයා නොවිමසීම ය. අවසර නොගැනීම ය. ඒ අතින් නම් විමල් ගොඩ ය. ඔහු දඩුවම් කරනවිට ඒ සදහා අදාළ බලධාරියාගේ අවසරය ගෙන තිබුනේ ය.

මර්වින් සමෘද්ධි අමාත්‍යවරයා තමන් කළ කරුමයෙන් ගලවා පැත්තකින් තැබීමට කටයුතු කළ අතර විමල් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා බෙල්ල මුලින් අල්ලා දෙමින් සිය බලය පෙන්වීම ක්‍රියාත්මක කළේ ය.

එක්කෙනෙක් අස්කිරීමෙනුත් අනෙකාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පවා බාර ගැනීමට ඉදිරිපත් නොවීමෙනුත් පෙනෙන්නේ දෙන්නාට හැදි දෙකකින් බෙදා ඇති බව ය.

මානව හිමිකම් කඩවීමක් මෙතැන ඇතැයි අපි සහසුද්දෙන් කියන්නේ ඒ නිසා ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger