Home » » ඒ "මහා" තීන්දුවෙන් පසු

ඒ "මහා" තීන්දුවෙන් පසු

Written By Sri Lanka Guardian on Thursday, September 9, 2010 | 2:05 PM

අපට පරිබාහිර මිනිසුන් වින්ද තිත්ත අද්දැකීම් දෙස අප බලන්නේ ඉතා දුරින්ය. එය සෑම විටම ආගන්තුක ලෙස දකින අපි, එවැන්නක් අපි කේන්ද්‍ර කරගෙන සිදු නොවන බව සිතීමට සෑම විටම වර්තමාන තත්වය සහ මනෝභාවය පොළඹවනු ලබයි. අපේක්ෂා බංගත්වය තුළ සතුට ජනිත වන්නේ ඒ ඔස්සේය.

නිලන්ත ඉලංගමුව

සුපුරුදු පරිදි රාජපක්ෂට තම තණ්හාව සහතික කර ගැනීමට පාර්ලිමේන්තුවේ වෙන්දේසි වූ බාන්ඩ වලින් හැකිවිය. මෙය මැජික් නොවේ. අපේක්ෂා නොකළ කිසිඳු දෙයක් සිදු නොවුනි. මෙය ජයග්‍රහණයක්ද නොවේ. මෙය සැබවින්ම රාජපක්ෂගේ සේම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම පරාජයකි. අපේ සමස්ත සමාජයේ දෙවැනි බරපතල බිඳ වැටීම වන්නේ මෙයයි. මෙය බලයට පත් කරණු ලැබූ කෑදරයකු විසින් කිසිවෙකු ගැන හෝ කිසි දෙයක් ගැන විශ්වාසය නොතබා කුහකකම නමැති සුළං දිශාවට දේශපාලනය නමැති රුවළ දිශානති කිරීමකි. මෑත කාලීනව කිසිම රටක් නොකරන අසමජ්ජාති තක්කඩි කටයුත්තක් සඳහා රාජපක්ෂ බලය පාවිච්චි කළේය. මෙය ඔහු " බහුතරයේ" කැමැත්ත ලෙස හුවා දැක්වීමම විලි ලැජ්ජාවකි.

සැබවින්ම රටක් ලෙස, රටේ සියලුම ආයතන වල ස්ථීර බිඳ වැටීම සහතික කරගත් දිනයක් හැර වෙනත් කිසිඳු ආකාරයක බලාපොරොත්තුවක් මේ තුළ නැත. මාස තුනකට සැරයක් පාර්ලිමේන්තුවට ආ පමණින් රටේ ප්‍රශ්න නොවිසෙඳෙන අතර පාර්ලිමේන්තුවේ කාර්යාල සහයක ( පිඑන්) කටයුත්ත කරණ රාජපක්ෂගේ ඔත්තු කරුවා අදාල කටයුත්ත රාජපක්ෂටත් වඩා හොදින් සුපුරුදු පරිදි සිදු කරණු ඇත. එය ඔහු කාලයක් තිස්සේ වඩාත් හොඳින් කළ රාජකාරියයි. මෙනිසා රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආ පමණින් කිසිඳු දේශපාලනික වෙනසක් සිදු නොවේ. නමුත් මාස තුනකට සැරයක් ඔහුගේ ඔත්තු කරුවන්ට නිවාඩුවක් ගත හැකිය. වඩාත් තේරෙන බාසාවෙන් කිවහොත් රටේ ජනතාවට ඇති ගැටලුව රාජපක්ෂ හෝ අදාල තනතුරේ සිටින ඕනෑම කෙනෙක් පාර්ලිමේන්තු යන්නේද/නොයන්නේද ගැන සිතීම නොවේ. එහි ගිය පමණින් පාර්ලිමේන්තුවට වග කියන පුද්ගලයෙකු බවට පත්වේ යැයි කියන්නේ නම් පාර්ලිමේන්තුව නැරඹීමට යන කුඩා පාසල් දරුවන්ද පාර්ලිමේන්තුවට වග කිව යුතුයි යනුවෙන් පිළිගැනීමකි. 18වන සංශෝධනය යනු තක්කඩියකු විසින් රටේ පොදු නීතිය සහ නිදහස සම්පුර්ණයෙන් ඝාතනය කිරීම සඳහා කළ අසමජ්ජාති පාපකාරී කටයුත්තක් මිස එය විස්තර කිරීමට වෙනත් වචන නැත. ආගමික වශයෙන් මෙය තම මාතෘ භුමිය වඩාත් දුෂ්ට ලෙස දුෂණය කර ඝාතනය කරණු ලැබූ සල්ලාලයකුගේ ආනන්තරීය පාප කර්මයකි.

අද සිදු වූයේ අපි විසින් ගෙවීමට ඇති ණය වලින් පමණක් නොව, දේශපාලන විනය/ශිෂ්ටත්වය අතින්ද ඉපදීමට සිටින අයවලුන් පවා පව් කාරයින් කිරීමකි. සක්විති ක්‍රමයට ණය ගෙවීමට හෝ පොල් පොට් කළ ආකාරයෙන් සියල්ල බිංදුවට දමා එතන සිට ධන කිරීමට රාජපක්ෂ සිතා ගෙන සිටින්නේනම් එය පද්ධතිය තුළම ඉතාමත් කෙටි කාලයකින් දෙදරා යනු ඇත. රාජපක්ෂ නැවකින් ගොස් ගාලු පාරේ වාහන යන ආකාරයෙන් නැව් යන මුහුද දැක "මාගම්පුර" වරාය හැදුවා සේ එකල පොල් පොට්ද කුඹුරු දෙස බලාගෙන සිහින දැක්කේය. නමුත් ලක්ෂ ගණන් මිය ඇදුනේ ඔහුගේ මිලිටරියේ අනුහසින් නොවේ. ඔවුහු මිය ඇදුනේ කන්න නැතුවය. මිනිසුන්ට කන්න නැතුව තවත් අයෙක් මැරෙන තුරු බලාගෙන සිටීමට සිදු වූයේ ඔහුගේ හෝ ඇයගේ මස් කෑමටය. එවිට පොල් පොට්ද , රාජපක්ෂ පාරම් බාන්නා සේ බහුතරය ගැන ගුණ ගී වැයිය. මෙවැනි දෑ එකිනෙක සසදන විට මෙවැන්නක් අපි විෂයෙහිලා කවදාවත් සිදු විය නොහැකිය යනුවෙන් සිතීම සාමාන්‍ය මනෝබාවයයි . අපට පරිබාහිර මිනිසුන් වින්ද තිත්ත අද්දැකීම් දෙස අප බලන්නේ ඉතා දුරින්ය. එය සෑම විටම ආගන්තුක ලෙස දකින අපි, එවැන්නක් අපි කේන්ද්‍ර කරගෙන සිදු නොවන බව සිතීමට සෑම විටම වර්තමාන තත්වය සහ මනෝභාවය පොළඹවනු ලබයි. අපේක්ෂා බංගත්වය තුළ සතුට ජනිත වන්නේ ඒ ඔස්සේය. මේ නිසා සිහිනය විසින් වර්තමානයේ ඇති තත්වය ආවරණය කරණ අතර, එමගින් අනෙකාට එනම් බලය ඇති කෙනාට අනවරත ලෙස තම ජිවිතයට මැදිහත් වීමට අවශ්‍ය ඉඩ සලසනු ලබයි. යුක්තිය පසිඳලීම ආයතන වලින් පරිබාහිර වී පුද්ගල කේන්ද්‍රියව සිදු වන තැනක සිදුවන්නේ ඔහු හෝ ඇය වෙත ලංවීමට ඔහුගේ කේලම් කරුවන් හෝ ඔහු හෝ ඇය තෘප්තිමත් කිරීමට මාන බලන්නන් බවට සාමාන්‍ය මිනිසුන් පත් වීමය. රාජපක්ෂගේ පාලනය තුළ මර්වින් සිල්වා , විමල් වීරවංස වැනි අයවලුන් ප්‍රධාන කාර්යක් සිදු කරමින් සිටින්නේ මේ නිසාය.

පැවතිය යුතු මුලිකාංග ( ප්‍රින්සිපලිටිස් ) වලට පයින් ගසා පාලනයක් ගෙන යාමට යන්තදරණ ඕනෑම අයෙකුට සිදු වන සාමාන්‍ය දෙය වන්නේ වත්මන් තත්වය සහතික කර ගැනීම සඳහා " මායාව" පෙරට දමමින් සිහින දැකීමට හුරු වීමය. ඒ සිහින තුළ ඇත්ත හෙවත් භෞතික භුමියේ පවතින ගැටලූ වලට පිළිතුරු තිබේදැයි සෙවීමය. එසේම තමා දකින සිහින වලට සාමාන්‍ය ජනතාව හුරු කිරීමය. ඒ සඳහා තම සිහින වලට බාධා එල්ල වන ඕනෑම අයෙක් හෝ දෙයක් කෘර ලෙස මර්ධනය කිරීම සිදුවේ. හින්දු බමුණන්ගේ බඩ ගෝස්තරයට, ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයෙන් පහර වදින විට, ඔවුහු බෞද්ධ දර්ශනය ඝාතනය කොට ඒ තුළට හින්දු මතවාදය එන්නත් කරවුයේ එනිසාය. ලැබෙන දෙය ලැබීම ලෙස පිළිගැනීමට පුරුදු වූයේ ඒ අනුවය. නොඑසේනම් වර්තමාන ජීවිතය කැපකිරීම්/පින් කම් වලට මුල් තැන දී එලෙබෙන ජීවිතයේ සැප සෙවීමට සාමාන්‍ය ජනතාව හුරු කිරීම මගින් බමුණන්ගේ පැවැත්ම තහවුරු විය. වසර තිහක් තිස්සේ ප්‍රභාකරන් ගෙන ගිය යුද්ධයේ සැඟ වී තිබු න්‍යාය වූයේද එයයි. අපි දකින්නේ නිරුවතින් සිටින ස්ත්‍රියක්නම් ඇය නිරුවතින් බව පිළිගැනීම වෙනුවට, එය එසේ නොවිය හැකි යැයිද සිතමින් පවතින සත්‍ය යටපත් කිරීම මගින් පාලකයාට තම පාලිතයා පාලනය කිරීම පහසු වේ. 18 වන සංශෝදනය විෂයෙහිලා, ඔය කිව්වට තවත් යමක් තිබිය හැකිය යැයි සිතමින් සිදු කොට ඇති අසමජ්ජාති කටයුත්ත සඳහා වැල්වටාරම් ගෙතීම අපි අපිව රවටා ගැනීමක් පමණි. මෙය රාජපක්ෂ සිදු කරණු ලැබුවේ බලය කේන්ද්‍ර කර ගැනීමට සහ ජනරාල් ෆොන්සේකා වැනි රජුගේ හෙළුව හෙළිදරව් කළ හැකි කොන්ද පණ ඇති පුද්ගලයින් තමාට රිසි සේ පාලනය කිරීමටය. මෙහි වෙනත් කිසිම දෙයක් නැත. මෙය නොමැතිව රටක් දියුණු කළ නොහැකි යැයි කියන්නේනම් එය අමුලික පට්ටපල් බොරුවකි.

රටක නීතියක් ක්‍රියාත්මක කරණ පිළිගත් ආයතන නැති වූ කළ ඊට අයිති කරුවන් ඇති වේ. දේශපාලන තලය තුලදී රාජපක්ෂ, මර්වින් සිල්වා වැනි අයවලුන් එහි උරුමක්කාරයින් වන අතර ගම් මට්ටමට යන විට එයට ඒ ඒ ප්‍රදේශයට අදාලව අයිතිකරුවන් ඇතිවේ. ඔවුහු රාජපක්ෂට ඇති ලෙන්ගතු කම නිසා ඇති විය හැකිය. නැතහොත් වෙනත් සුදුසුකමක් නිසා ඇති විය හැකිය. එය කුමණ ආකාරයක් ගත්තත් සිදුවන්නේ ඛේදවාචකයකි. ගැබිණි මවකට, තමන්ගේ ජංගම දුරකථනය මගින් කෙටි පණිවිඩ යමින් සිටි වැලිපැන්න පොලිසියේ ග්‍රාමාරක්ෂක නිලධාරියාට අදාල කටයුත්ත නතර කර දමන්නැයි කීමට ඔහුගේ නිවසට ගිය ඇයව අදාල නිලධාරියා සහ ඔහුගේ මව විසින් ගස් බැඳ පහර දීම රටේ, පහල සිට ඉහලට ඇති සෑම තැනකම සිදු වී ඇති බිදවැටීමේ ශෝචනීය තත්වය තේරුම් ගැනීම සඳහා ප්‍රමාණවත් වේ. රාජපක්ෂ කරමින් සිටින්නේ රටක පැවතිය යුතු මුලිකාංග වලින් රට ගලවා තමන්ගේ මුලිකාංග වලින් රට නැටවීමය.

නමුත් අද සතුටු වන උන් හෙට අසහනයට පත් වනු ඇත. තවත් දෙයක් ඇති යැයි සිතු පිරිස් මෙහි කිසිවක් නොව බොරුව පමණක් ඇත යැයි අවසානයේදී තීන්දු කරණු ඇත. රාජපක්ෂ තමන්ගේ බලයට තුනෙන් දෙකක බහුතරක් ඇති බව සහතික කර ගැනීම සඳහා ගෙන ගිය වංචාවට වියදම් කළ මුදල් සම්බාරය රටේ දුගී දුප්පතුන්ට කෑමට වේලක් දුන්නේනම් එය මීට වඩා ප්‍රයෝජනවත් වන බව තේරුම් ගැනීමට තවත් බොහෝ කාලයක් සමස්ථ සමාජයටම ගත වනු ඇත.
Share this article :

+ comments + 1 comments

Anonymous
September 12, 2010 at 12:37 PM

Mokadha 18 amendmend eken weneh kiyala pahadily neha. Nikan wachana tikak thmunge mathya elippena widhada liyala thiyanawa. as whole articale is a total failuer.

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger